උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය යනු උණ්ඩුකපුච්ඡයේ වේදනාකාරී ඉදිමීමකි. උණ්ඩුකපුච්ඡය යනු, තරමින් සෙන්ටිමීටර 5 - 10 (අඟල් 2-4) අතර වූ කුඩා, තුනී පැසක් වැනි අවයවයකි. එය මහා බඩවැලට, එනම් මල අපද්‍රව්‍ය සෑදෙන අවයවයට සම්බන්ධ වී පවතී. උණ්ඩුකපුච්ඡයෙන් සිදු කරන කාර්යය කිසිවෙකු නිශ්චිතව නොදන්නා නමුත්, එය ඉවත් කිරීම හානිකර නොවේ.

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයේ රෝග ලක්ෂණ

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සාමාන්‍යයෙන් බඩ (උදරය) මැද හරියේ වරින්වර ඇති වී නැතිවන වේදනාවක් සමගින් ආරම්භ වේ. පැය කිහිපයකදී, වේදනාව උදරයේ පහළ දකුණු අත පැත්තට, එනම් උණ්ඩුකපුච්ඡය සාමාන්‍යයෙන් පිහිටන ප්‍රදේශයට ගමන් කර, ඒකාකාරී හා උග්‍ර බවට පත්වේ. මෙම ප්‍රදේශය තද කිරීම, කැස්ස හෝ ඇවිදීම වේදනාව උග්‍ර වීමට හේතු විය හැකිය. ඔබට ආහාර අරුචිය, අසනීප ගතිය, සහ මල බද්ධය හෝ පාචනය ඇතිවිය හැක.

වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා

ඔබට ක්‍රමයෙන් උග්‍ර වන උදරයේ වේදනාවක් පවතී නම්, වහාම වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත යන්න. ඔබට එකවරම උග්‍ර වී උදරය පුරා පැතිරෙන වේදනාවක් පවතී නම් හෝ ඔබේ වේදනාව නැවත උග්‍ර වීමට පෙර තාවකාලිකව අඩුවෙයි නම්, වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ඔබේ වේදනාව මඳකට නැති වී ගොස් ඉතා උග්‍ර ලෙස නැවත ඇති වේ නම්, මාරාන්තික සංකූලතා ඇති විය හැකි තත්ත්වයක් වන උණ්ඩුකපුච්ඡය පැලී යාමක් සිදුවී තිබිය හැක.

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයට ප්‍රතිකාර කරන ආකාරය

ඔබට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇත්නම්, බොහෝ විට ඔබේ උණ්ඩුකපුච්ඡය හැකි ඉක්මනින් ඉවත් කිරීමට සිදු විය හැකියි. ඇපෙන්ඩිසෙක්ටමි (appendicectomy) හෝ ඇපෙන්ඩෙක්ටමි (appendectomy) ලෙස හැඳින්වෙන මෙම උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීමේ ශල්‍යකර්මය, ඉතාම සුලබ එකක් වන අතර එහි සාර්ථකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. එය සාමාන්‍යයෙන් කී හෝල් (keyhole )සැත්කමක් ලෙස සිදු කෙරේ (ලැපරොස්කොපි-laparoscopy) විශේෂ ශල්‍ය උපකරණ කිහිපයක් ඇතුල් කිරීම සඳහා, උදරයේ කැපුම් කිහිපයක් යොදනු ලැබේ. උණ්ඩුකපුච්ඡය පැලී ඇත්නම් හෝ ප්‍රවේශය අපහසු නම්, තනි, වඩා විශාල වූ උදර කැපුමක් යොදා ගනිමින් විවෘත සැත්කමක් සාමාන්‍යයෙන් සිදු කරයි. ඔබේ උණ්ඩුකපුච්ඡය ඉවත් කරනු ලැබීමෙන් පසුව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වීමට සාමාන්‍යයෙන් සති කිහිපයක් ගතවේ. නමුත් විවෘත සැත්කමකින් පසුව සති 6ක් දක්වා කාලයක් ගත වන තෙක් වෙහෙසකර ක්‍රියාකාරකම් වලින් වැළකීම අවශ්‍ය විය හැක.

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයට හේතු මොනවාද?

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයට හේතු වන්නේ කුමක්දැයි පැහැදිලි නැත. බොහෝ අවස්ථාවලදී එය උණ්ඩුකපුච්ඡය මහාන්ත්‍රයට විවර වන ස්ථානය යම් හෙයකින් අවහිර වීම නිසා විය හැකිය. උදාහරණයක් වශයෙන්, එය මල අපද්‍රව්‍යවල අඩංගු යමක් නිසා අවහිර වීම හෝ, ඉහළ ශ්වසන මාර්ගයේ ආසාදනයක් හේතුවෙන් ආන්ත්‍රික බිත්තියේ ඇති වසා ගැටිත්ත ඉදිමීම නිසා සිදු විය හැක. එම අවහිර වීම නිසා ප්‍රදාහක ප්‍රතිචාරයක් හෝ ඉදිමීමක් ඇතිවුවහොත්, උණ්ඩුකපුච්ඡය තුළ පීඩනය වැඩි වී, පසුව පැලී යාම සිදු විය හැක. උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයට හේතු සම්පූර්ණයෙන් තේරුම් ගෙන නැති බැවින්, එය වැළැක්වීමට සහතික කළ ක්‍රමවේදයක් ද නොමැත.

රෝගය වැඩියෙන්ම වැළඳෙන්නේ කා හටද

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සුලබ තත්ත්වයකි. එංගලන්තයේ, 50,000 කට ආසන්න පිරිසක් අවුරුදු පතා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය නිසා රෝහල්ගත කෙරේ. ඕනෑම වයසකදී උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති විය හැකි නමුත්, එය අවුරුදු 10 සහ 20 අතර වයසේ නවයොවුන් පිරිස් වලට සාමාන්‍යයෙන් වැළඳෙයි.